Tuesday, December 6, 2016

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය​: වීගන් ආහාර රටා මගින් 2050 වන විට මිනිස් ජීවිත මිලියන 8ක් බේරා ගෙන​, ගෝලීය උණුසුම් වීම නැවැත්විය හැක​


මස් අඩු, එළවළු හා පළතුරු වැඩි ආහාර රටාවලට ලොව වෙනස් කිරීමෙන් 2050 වන විට මිනිස් ජීවිත මිලියන 8ක් බේරා ගෙන​, හරිතාගාර වායු නිකුත්වීම් 2/3ක් අඩු කර​, සෞඛ්‍යමය වියදම් අඩු කළ හැකි වේ. තවද​, දේශගුණ ආශ්‍රිත හානි නිසා වන වියදම් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.5ක් වැළැක්විය හැකි බව ඔක්ස්ෆර්ඩ් මාර්ටින් විද්‍යාල පර්‍යේෂකයන් සොයා ගෙන ඇත​.

Proceedings of National Academy of Sciences යන විද්‍යාත්මක සඟරාවේ පළ කරන ලද මෙම පර්‍යේෂණය, නිර්මාංශ ආහාර රටා කරා යාමෙන් වන සෞඛ්‍යමය හා දේශගුණික බලපෑම් සියලුම ප්‍රධාන ලෝක ප්‍රදේශවලට තක්සේරු කළ පළමු අවස්ථාව වේ.

"ආහාරවල අනාගතය​" (Future of Food) පිළිබඳ ඔක්ස්ෆර්ඩ් මාර්ටින් වැඩසටහනේ ප්‍රධාන කර්තෘ වන ආචාර්‍ය මාර්කෝ ස්ප්‍රිංමන් පවසන ලෙස​: "අපි අනුභව කරන ආහාර​ පුද්ගලික සෞඛ්‍යයට හා ගෝලීය පරිසරයට මහත් බලපෑමක් ඇති කරයි. බොහෝ ප්‍රදේශවල හා ලොව විශාලතම සෞඛ්‍ය ප්‍රශ්නය පවතින්නේ ක්‍ෂීරපායින්ගෙන් ගන්නා රතු මස් (හරක් මස්, ඌරු මස්, එලු මස් වැන්න​) අධික​, එළවළු හා පළතුරු අඩු සමබර නොවන ආහාර රටා නිසාය​. එලෙසම​, සියලු හරිතාගාර වායු මුදාහැරීම් කාලකටම ආහාර ක්‍රමය වගකිව යුතු නිසා, එය දේශගුණ වෙනස්වීමටද විශාල හේතුවක් වේ."

සෞඛ්‍යමය හා පාරිසරික බලපෑම් තක්සේරු කිරීමට පර්‍යේෂකයන් 2050 වසරට ආහාර ක්‍රම 4ක් සැලකීමට ගන්නා ලදී:
1. අනාගත ප්‍රක්‍ෂේපන ලෙස දැන් තියන තත්වයම පවත්වන ආහාර ක්‍රමය​​,
2. ලොව ආහාර නිර්දේශවලට​ අනුව එළවළු හා පළතුරු අවම ප්‍රමාණ ඇතුළත්, රතු මස්, සීනි හා මුළු කැලරි ප්‍රමාණ සීමා සහිත ආහාර ක්‍රමය​,
3. ආහාර නිර්දේශවලට අනුගත නිර්මාංශ (වෙජිටේරියන්) ආහාර ක්‍රමය​,
4. ආහාර නිර්දේශවලට අනුගත වීගන් (මස්, කිරි, බිත්තර හා වෙනත් සත්ව ද්‍රව්‍ය නොමැති) ආහාර ක්‍රමය​.

ලොව ආහාර නිර්දේශවලට අනුගත දෙවන ක්‍රමය පිළිපැදීමෙන් 2050 වන විට වසරින් වසර මරණ මිලියන 5.1ක් වැළැක්විය හැකි බව ඔවුන් සොයා ගෙන ඇත​. මෙයටත් වඩා ලාභ තුන්වන ක්‍රමය වන නිර්මාංශ​/වෙජිටේරියන් ආහාර රටාවලින් ලබා ගත හැකි (මරණ මිලියන 7.3ක් වැළැක්විය හැක​) අතර අවසාන ක්‍රමය වන වීගන් ආහාර රටාවලින් මරණ මිලියන 8.1ක් වැළැක්විය හැකි බව සොයා ගෙන ඇත​.

වැළැක්විය හැකි මරණ ආසන්න ලෙස භාගයක්ම රතු මස් අනුභවය අඩු කිරීමෙන් වන අතර ඉතිරි භාගය එළවලු හා පළතුරු අනුභවය වැඩි කිරීම හා කැලරි ප්‍රමාණය අඩු කිරීම යන දෙකේ එකතුවක් වේ. මේ සියල්ලෙන් මිනිසුන් අඩු ගනනක් තරබාරුවීම මරණ වැළැකිවීමට හේතු වේ.

2050 වන විට ගෝලීය උණුසුම්වීම 2°Cකට සීමා කළහොත් ලොවට දැරිය හැකි හරිතාගාර වායු මුදාහැරීම්වලින් භාගයක්ම ආහාර​-ආශ්‍රිත හරිතාගාර වායු බව මෙම පර්‍යේෂණය ප්‍රක්‍ෂේපනය කරයි. ලොව ආහාර නිර්දේශ අනුව දෙවන ක්‍රමය අනුගමනය කළහොත් ආහාර​-ආශ්‍රිත මුදාහැරීම් 29%ක් කපා හැරිය හැකි අතර​, නිර්මාංශ​/වෙජිටේරියන් ආහාර රටාවලින් 63%ක් හා වීගන් ආහාර රටාවලින් 70%ක් කපා හැරිය බව පර්‍යේෂණය පවසයි.

ආහාර රටා වෙනස් කිරීමෙන් වන ආර්ථික ලාභයන් ගැනද පර්‍යේෂකයන් සොයන ලදී. වෛද්‍ය අවශ්‍යතා, නොගෙවන ලද අනියම් සාත්තු හා පාඩු වූ රාජකාරි දින යන්න සලකන විට ඇමරිකානු ඩොලර් බිලියන 700-1000ක් ඉතිරි කළ හැකි බව ඔවුන් පවසයි. මරණයට පත්වීමට ඇති අවදානම අඩු වීමට සමාජය දෙන ආර්ථික වටිනාකම දළ දේශීය නිෂ්පාදිතයෙන් 9-13%ක් හෝ ඇමරිකානු ට්‍රිලියන 20-30ක් දක්වා ඉහළ විය හැක​. තවද​, ආහාර රටා වෙනස් කිරීමෙන් වන හරිතාගාර වායු මුදාහැරීම් අඩු වීමේ ආර්ථික ලාභය ඇමරිකානු බිලියන 570ක් දක්වා ඉහළ විය හැකි බව පර්‍යේෂකයන් සොයා ගෙන ඇත​.

"යහපත් සෞඛ්‍යයට හා පරිසරයට ඩොලර් වටිනාකමක් දීම සංවේදී කාර්‍යයක් වේ," යැයි ආචාර්‍යය ස්ප්‍රිංමන් පවසන ලදී. "නමුත් ආහාර රටා වෙනස් කිරීමෙන් සමාජයට විශාල ලාභ ලැබිය හැකි බව අපේ ප්‍රතිඑල පෙන්වා දෙයි. සෞඛ්‍ය හිතකාමී හා පරිසරයට ඉසිලිය හැකි ආහාර රටා ඇති කිරීමේ වැඩසටහන්වලට වැඩි වැඩියෙන් පුද්ගලික හා මහජන මට්ටමින් වියදම් කිරීම නැණවත් බව මෙම ලාභවල වටිනාකම පෙන්වා දෙයි."

මූලය​ | Original article: Veggie-Based Diets Could Save 8 Million Lives By 2050 & Cut Global Warming (Oxford University)

No comments:

Post a Comment